Tuesday, 2 April 2019

මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස සහ දෙවෙනි කොටස

මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස


මංජුල. මංජුල වෙඩිවර්ධන ආවා මාව හම්බ වෙන්න. මතක හැටියට නම් තිඹිරියාගම බණ්ඩාර හෝ විමලනාත් වීරරත්න එක්ක. 2000 දවසක. ඒ දවස්වල ඔය නම් කියාපු හැමෝම වගේ 'රාවය' පත්තරයේ ලේඛකයෝ.



මංජුල                                         තිඹිරි



එහෙමයි මං 'මේරි නම් වූ මරියා'ට පැටලෙන්න මුල පිරුණේ.

සමහර මිනිස්සු, මිනිස්සු කියව්වේ ලිංග භේදයකින් තොරවයි, හොඳේ. සමහරුන්ගේ පළමු දර්ශන මාත්‍රයෙන්ම මට එයාලාව එපා වෙනවා. ඒ විතරයැ? මට මෙලෝ වරදක් කරලා නැති වුණත් හොම්බට හැටක් විතර අනින්නත් හිතෙනවා. සමහරුන් ගැන ඒකෙම අනිත් පැත්ත. දැක්ක ගමන් බදාගන්න හිතෙනවා! මං හිතන්නේ ඕනෙම කෙනෙකුට ඔය ගතිය ඇති, ප්‍රසිද්ධියේ නොකිව්වාට.

ඉස්සර අපේ ගෙවල් ළඟ හිටියා ෆ්‍රෑන්ක් කියලා මනුස්සයෙක්. එයාගෙ අම්මා තමයි ෆ්‍රෑන්ක්ගේ දරු කැළතම බලාගත්තේ. බිරිඳ හිටියේ නෑ. මහරගම අයට නම් මතක ඇති ෆ්‍රෑන්ක්ව, මිනිස්සු කිව්වේ එයා 'ත්‍රෛලෝක විජය පත්‍ර' විකුණුවා කියලයි. එව්වා මෙව්වා මොනවා වුණත් මම අර අම්මාව දකින-දකින වාරයක් ගණනේ හිතුවේ 'අනේ, ඒ අම්මාගේ පුතෙක් වුණා නම්' කියලයි. මං හිතන්නේ සංසාරගත පුරුද්දෙන් වෙන්නැති අපට එහෙම දැනෙන්නේ. ඔහොම පෙනුමෙන් මිනිස්සු මනින එක වැරැදියි කියලා මං හොඳට දන්නවා. ඒත් මොකද කරන්නේ, තවමත් මගේ අතින් ඒ වැරැද්ද වෙනවනේ.

ඒ වගේමයි අපි ආසක්ත වෙනවා අපේ වීරයන් ගැනත්. මාත් නිරන්තරයෙන් 'රාවය' කියවන නිසා මුලින් කියූ  තුන් දෙනාම මගේ වීරයෝ වෙලයි හිටියේ. ගොඩගේ එකෙන් පොත ගහනවා වුණත් එයාලම ඇවිත් තිබ්බෙ මටත් පුද්ගලිකවම කතා කරලා ජොබ් එක බාරදෙන්න. අම්මට සිරි! මටත් හරි ආඩම්බරයි ඉතින්. ගොඩගේ මහත්තයාමයි එයාලට කියලා තියෙන්නේ මාව හම්බ වෙන්න.
 
සිරිසුමන ගොඩගේ මහතා

ඒ වෙද්දී 'පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස්' එකට කවුරු හරි පොතක් ගහගන්නයි ආවේ කිව්වොත් කියන පමාවෙන්ම මට යොමු කරනවා. පොතක් ගැන දුරකතනයෙන් ඇහුවත් එච්චරයි. මං නොකළේ මිළ ගණන් තීරණය කිරීමයි, මිල මුදල් භාර ගැනීමයි විතරයි. එතන ඉඳන් පොත අච්චු ගහලා දෙනකල්ම 'සියල්ල මගේ වැඩ'. මං ගිය ආත්මයේ පොත් කාවෙක්ද දන්නෑ, මාත් හරිම උනන්දුවෙන්, ආදරෙන්, කැපවීමෙන් මගේ ඩියුටිය කළේ.

"මං ජීවත් වෙලා ඉන්නේ රස්සාව කරන්නම නෙවෙයි. හැබැයි රස්සාවක් කරනවා ජීවත් වීමට උදව්වක් වෙන්න." ඒක තමා රැකියා පිළිබඳ මගේ දර්ශනේ.

මාව රස්සාවට ගන්න කලින්ම මං මගේ කන්ඩිෂන් ටික කියනවා."මං වැඩට ආවාට මට කියන්න එපා o.t. කරන්න. නිවාඩු දවස්වලට වැඩට එන්න කියන්නත් එපා. හැබැයි මොනවාහරි වැඩකට මාව ඕනෙම බව මට තේරෙනවා නම් මට නොකිව්වත් මං අමතර වැඩ හරි කරන්නම්. මං නිවාඩු ගත්තා කියලා වැඩකට පාඩුවක් නොවෙන්න වගබලා ගන්න මට පුළුවන්!" මං එව්වා කිව්වේ ඔහොම පොල්ලෙන් ගහන්නා වගෙ භාෂාවකින් නම් නෙවෙයි; එයාලට බෑ කියන්න බැරි වෙන තරම් මෘදුවට. මොන වාසනාවටද මන්දා, මට හමුවුණු හැම බොස් කෙනෙක්ම මගේ ඉල්ලීමට එකඟ වුණා. එයාලා මගෙත්, මං එයාලගෙත් විශ්වාසය රැක්කා. මොකද මං මාවම රවටාගන්න කෙනෙක් නොවන නිසා.

ඔන්න පුංචි පම්පෝරියකුත් ගහන්නම වෙනවා! මං අන්තිමට රැකියාව කළ තැන් හතරම මං රස්සාව හොයාගෙන ගිහින් ලැබුණු එව්වා නෙවෙයි. ඒ ගොල්ලොම මාව කැඳවපුවා. තවමත් මට ඊළඟ රැකියාවටත් විවෘත ආරාධනයක් තියෙනවා! විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ මාලා විජේසූරිය මැතිණියගෙන්. විසිදුනු ප්‍රකාශකයෝ අධිපති ගෙවිඳු කුමාරතුංග මහතාගේ ආරාධනයෙන් මං එහෙ රස්සාවට ගිය බව ආරංචි වුණු ගමන්ම මාලා මැඩම් මට කෝල් එකක් දුන්නා. "අයියෝ නිමල්, මං හිතාගෙන හිටියේ ඔයා ආයෙමත් රස්සාවක් කරන්න ඕනේ නැතිවයි ඉන්නේ කියලා. ඔන්න කවදා හරි ඔහෙන් ඇයි වෙලා වෙන රස්සාවකට යනවා නම් ඉස්සෙල්ලාම මට එ්ක කියලා ඉන්න ඕනේ. ඔන්න පොරොන්දුවක් වෙනවා නේද?" මම පොරොන්දුව නම් දුන්නා. ඒත් ඒක ඉටු කරන්න අවස්තාවක් උදා වුණේ නෑ, තවම.

ඔය ටික ඉස්සෙල්ලාම කියලා ඉන්න වුණේ ඉස්සරහට කියන්න යන දේවලට ඕනේ වෙන නිසා. ඊටත් වෙච්ච දේවල්වලින්නේ අපට මිනිස්සු ගැන හරි පිංතූරයක් හදාගන්න පුළුවන් වෙන්නේ. මං කිව්වේ මගේ ගැන වුණත්.....

ඔන්න පොතේ වැඩ පටන් ගත්තා.

දොරට වැඩුමක් දාගෙනද මන්දා, මංජුලට ටිකක් කලින් පොත් දෙසීයක් විතර ඕනි කිව්වා. එච්චර ලොකු පොතකුත් නොවෙන නිසා මං සැලසුම් කළේ පොත් සේරම එක සැරේ දෙන්නයි.

පොතේ කවරය මුද්‍රණය කරලා සාම්පලයක් මගේ මේසය උඩ තියෙද්දී එහාට ආව හිතවත් මහත්තයෙක් මේ කවරය දැක්කා. "ඔයාලද මේ පොත ගහන්නේ....." අහලා එයා හඬ බාල කළා. "මේ පොත තහනම් කරන්නයි හදන්නේ."





 "කවුද?"

"පල්ලියෙන්." ඊළඟට එයා දන්නා තරම් දේ මට කිව්වා."හැබැයි මං මේ බවක් කිව්වා කියලා නම් ඔයාලගේ බොස්ටවත් කියන්න එපා. මට බැහැනේ ඕවට පැටලෙන්න."

මට හිතෙන්නේ මම පුදුමාකාර වාසනා මහිමයක් ඇතිව උපන් කෙනෙක් කියලයි. හුඟ දෙනෙක් මගෙත් එක්ක ඉතාම ඉක්මනින් යාළු වෙනවා. ඒ වගේම බොහෝම කඩිනමින් මාව විශ්වාස කරන්න පටන් ගන්නවා. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය පතමින් පෙරුම් පුරන කාලයේදී නොකළ එකම පාපය බොරු කීමලු. ඒ නිසාය කියනවා සම්ම්බුද්ධ දේශනා අද වෙනතුරුත් බොරු නොවෙන්නේ.  ඒ වගේ මාත් සසර සැරිසරන කාලයේ අනෙක් අයගේ විශ්වාසය රකින්න ඇති මයෙ හිතේ. අදත්, තවමත් අලුතින්ම අඳුනාගන්න අය වුණත් එයාලගේ තොරතුරු; රහස් පවා මගෙත් එක්ක කියන්නේ බොහෝම කුළුපගව. හැබැයි මං ඒකෙ අනෙක් පැත්ත. කොච්චර විශ්වාසවන්ත කෙනෙකුට වුණත් මං මගේ රහස් හෙළි කරන්නේ නැතිම තරම්. ඒ වගේම අනෙක් අය කියන රහසුත් හොඳට රැකගන්න මට පුළුවන්.

ඒ නිසාම වෙන්නැති අපේ බොස්ගේ හිතවතා මටම සේරම විස්තර කියව්වේ.

මං ඒ විස්තරවලින් අදාළ ටික විතරක් මංජුලලට කියද්දී එයාලටවත් ආරංචිය ගිහින් තිබ්බෙ නෑ. "නිමල් අයියේ, දැන් මොකද කරන්නේ..." මං කල්පනා කරන්න වෙලාව ඉල්ලා ගත්තා. එයාලත් තව විස්තර හොයලා මට දන්වන්නට පොරොන්දු වුණා. මට කල්පනාවට ගන්න දෙයකුත් එයාලාගෙන් කියවුණා."ඕකට පැමිණිල්ලක් දාලා තහනම් නියෝගයක් අරගන්නවා ඇති... එව්වට දවසක් විතර යැයි. අපිට හෙට දවස විතරයි තියෙන්නේ." එයාලා දන්නා තරමින් මංජුලලා අනුමාන කළා.

'නීච කුමන්ත්‍රණේ', 'නොදෙන්න හිටි රන් පදක්කම', 'මීන සංහාරය' හා 'වස්කවි කීම' පෝස්ටු හතර කියෙව්වා නම් ඔබ දැනටම දන්නවා නිමල්ගෙ මොට්ටකමයි, ඇට්ටරකමයි වගේම පරම්පරාවෙන් ආපු 'අමු කැළයක් වුණත් ගිනි තියන්න පුළුවන් නුවණයි' ගැන. මං ඒ සේරම එක්ක දහ අතේ හිතුවා එදා රෑ පුරාම. 
මට මොනවාවත් ලැබෙනවාට නෙවෙයි. හැබැයි, එහෙම කියන එකත් වැරැදියි. ලැබුණානේ. හොඳ අත්දැකීමක්... මුදලට ගන්න බැරි තරමේ දෙයක්නේ ඒ. ඇයි දැනුණු ත්‍රිල් එක. තෘප්තිය.... මංජුල වෙඩිවර්ධන සූදානම් නම් මාත් අවසානය දක්වාම එයාලාට උදව් වෙනවා 'මේරි නම් වූ මරියා' වළ දැමීමෙන් බේරාගන්න. මං මටම දිවුරාගත්තා. "ඔව්, ඔව් නිමල්, පොත තහනම් කළොත් නම් ඉතින් එච්චරම තමා."

ඇත්තටම සිරි ලංකාව ඒ අතින් බලද්දී හරිම අසිරිමත් රටක්. අපි හිතන්නෙත් සිරිමත් විදියට. ස්ත්‍රී දූෂණ වළක්වා ගන්න ඕනේ නම් කාන්තා සිරුර නිරාවරණය වෙන ඇඳුම් තහනම් කරන්න ඕනේ. සිංහලයන්ගේ උඩඟුකමයි මොට්ටකමයි නිසා ව්‍යාපාර දියුණු කරගන්න බැරි නම් දෙමළ, මුස්ලිම් වෙළඳසල් කඩා-බිඳදමන්න ඕනේ. මං ඉහළම තැන්වලට යෝජනාවක් කරන්නයි යන්නේ, දැන් රථවාහන අනතුරු බහුල නිසා. මහා පාරවල්වල යාන-වාහන ගමනාගමනය තහනම් කරන්න ඕනේ, අත් කරත්තවලටයි, බර කරත්තවලටයි හැර! ඕනෙම නම් විල්බැරෝවලටත් පොඩි චාන්ස් එකක් දීලා!


විල්බැරෝවලට විතරක් ඉඩ දුන්නොත්.........


පහුවදා උදෙන්ම මං පොතේ වැඩ උපරිම වේගයෙන් නිම කරවන්න ක්‍රම යෙදුවා! ඒත් අපේ හාම්පුතාට නම් ඔය විස්තර මොකුත් ඇඟෙව්වේ නෑ. ඒ මනුස්සයා මං වගේ දුවන කෝච්චිවලට බෙල්ල තියන ජාතියේ නෙවෙයි.

දවල් වෙද්දී මංජුලාගෙන් කෝල් එකක් ආවා. 'හෙට වෙද්දී CID එකෙන් ප්‍රෙස් එකට ඒවි, පොත් ටික අත්අඩංගුවට ගන්න.'

එදා මොන වැඩේ කළත් මගේ ඔළුවේ තිබ්බෙ CID එකෙන් එන එක. ඒගොල්ලො ආව ගමන් අපේ බොස් මාව එයාලා ළඟට දානවා. ඇයි ඉතින් පොතක් ගැනනේ. එයාලා මගෙන් මොන-මොන විදියේ ප්‍රශ්න අහයිද? මගේ හිතට ආවා.අහන ප්‍රශ්නවලට බොරු කියනවද? ඒක තමා මට ලොකුම ප්‍රශ්නය වුණේ.

ආදි කාලේ ඉඳලාම බොරුව තිබිලා තියෙනවා, දැන් වගේම. මං අහලා තියෙන විදියට සක්විති රජෙක් (ලංකාවේ සක්විති නෙවෙයි, හොඳේ!) හිටියා මහා මන්ධාතු කියලා. අහසින් යන්නත් පුළුවන්කම තිබුණු කෙනෙක්, ඍද්ධි බලය නිසා. දවසක් උන්දෑ අහසින් යද්දී මොකක්ද බොරුවක් කියලා, ඍද්ධි බලයත් පිරිහිලා..... පැරචුට් එක දිගෑරෙන්නේ නැතිව මහා පොළොවට කඩා පාත් වෙන ගුවන් කරණංකාරයෙක් වගේ ඇද වැටුණාලු.

'මේරිගේ' සිදුවීමටත් අවුරුදු විසි-තිස් ගණනකට කලින් ඉඳලා මං බොරු කීම නවත්තලයි හිටියේ. මොකද බොරු කීම ගැන විග්‍රහයක් කියෙව්වාම මට එහෙම කරන්න හිතුණා. ඔයාලටත් එක කියන්නම්කෝ, මගේ භාෂාවෙන්, මට මතක විදියට.

අපි බොරු කියන්නේ ඇයි කියලා හිතලා තියෙනවද? හොඳට විග්‍රහ කරගෙන ගියාම ලැබෙන උත්තරේ 'බයට' කියන එකයි. සත්‍යය හෙළි වුණාම ලැබෙන්නට ඉඩ තිබෙන ප්‍රතිචාරයට බයයි නම් තමා අපි බොරු කියන්නේ. ඉතින් ඒ අනුව හිතුවාම මට හිතුණා මොකටද- මොකාටද මං බය වෙන්නේ කියලා. ඇයි මං බියගුල්ලෙක්- නිවටයෙක් වෙන්නේ? අහංකාර හිතිවිල්ලක් බව ඇත්ත. ඒත් මං ඒ ප්‍රතිපදාව රකින්න පටන් ගත්තා. හැබැයි බොහෝම උපක්‍රමශීලිව.

මං බොරු කියන්නේ නෑ. ඒත් ඕනේ තරම් අවස්ථා උදාවෙනවා සත්‍යය හෙළි කරන්නත් බැරි. ඒ වෙලාවට තමා මං උපක්‍රමශීලි වෙන්නේ. මෙන්න ගුරුමුෂ්ටි නැතිවම මගේ ප්‍රයෝග. රිසි නම් අත්හදා බලන්න. කිසිදු ගෙවීමක් කළ යුතු නොවේ!

ඇත්ත බොරුවක් විදියට කීම: හිතමුකෝ කවුරු හරි මගෙන් අහනවා 'තමුසේ මාව අමාරුවේ දැම්මා නේද අරයාට මේක කියලා?'. ඒකට ඍජු උත්තරේ 'ඔව්' කියන එක එයාට කියන්න මට ඕනේ නැති නම් මං මෙහෙම කියාවි. "ආනේ, ඔයා කොහොමද ඕක ඔච්චර හොඳට දැනගත්තේ?" - "බලාගෙන ගියාම ඔයාට හොඳට පේන කියන්නත් පුළුවන්නේ. නරකයිද ඒක පටන් ගත්තොත්!" - "ඔයා එහෙම හිතනවා නම් මං මොකටද ආයේ නැහැයි කියන්නේ." - "ෂාහ්! මෙයා දැන් ෂර්ලොක් හෝම්ස්ටත් වැඩිය හපනෙක් වෙලානේ,රහස් හෙවිල්ලෙදී." වගේ ප්‍රකාශවලින් එකක්.

මඟ හැර යාම: "මහත්තයෝ, තරහ නැතිව ගෙනෙනවාද ලොකු කොළයක්, මං සේරම සහසුද්දෙන්ම ලියලා දෙන්න?"

අභියෝග කිරීම: "එක්කන් එන්නකෝ ඔය කතාව ඔයාට කිව්ව මනුස්සයාව. මං එයාගෙ ඉස්සරහම ඔයාට කියන්නම්." - " ඔයා මගේ අදහස් ප්‍රකාශ කිරීමේ මානව නිදහසත් උල්ලංඝනය කරන්නයි සුදෝ හදන්නේ!"  

ඔයාලා ඔතැනදී ඉතාම ප්‍රවේසම් විය යුතුයි වචන තෝරා ගැනීමේදීත්. ප්‍රතිවාදියාව ප්‍රකෝප නොවෙන විදියේ වදන්, ඔහුට ගරු කරන විදියටයි මං නම් කියන්නේ. ඔය මොනවා කිව්වත් ඉඟි-බිඟිවලින්, උච්චාරණයෙන් පොලිෂ් කරලා ගන්නත් ඕනේ. එව්වා වරදින්නෙ නැහැ, මට නම්.

ඉතින් අදට ඔය මදැයි. එහෙම හිතුණද? තරහ වෙන්න එපා! හරිම මහන්සියි. ඉතිරි හරිය දෙවෙනි කොටසට අරන් යන්නම්, හොඳේ!


====================================================

මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි - දෙවෙනි කොටස


මං පළමු කොටස ඉවර කළේ මගේ 'අහිංසක ප්‍රයෝග'වලින් ටිකක් කියලා.මතකයිනේ? ඉතින්....

CID එකේ අය ඉස්සරහත් ඔය ප්‍රයෝග කොහොමද උපයෝගී කරගන්නේ කියන එක මගේ හිතේ දිගටම වැඩ කළා. එයාලා අපට වඩා දක්ෂ අයනේ. කොටින්ම එයාලා මගෙන් ඇසිය හැකි ප්‍රශ්න පවා මං මගෙන්ම අහගෙන, උත්තර හෙව්වා. ඒ සේරම කළේ බයට නම් නෙවෙයි. නයාවත් නොමරා පොල්ලත් කඩාගන්නේ නැතුව ප්‍රශ්නය විසඳාගන්නයි. මගේ ඔළුවේ හිටියේ අර අතිදක්ෂ ෂර්ලොක් හෝම්ස්, ඩිකී වීරකෝන්, කෝන්ගොඩ වික්‍රමපාල වගේ ඕනෙම හිච්චි ඉඟියක් පස්සේ පවා පන්නන කට්ටියක්.

 
ෂර්ලොක් හෝම්ස්
කට්ටියක් පොත ගැදර් කරන අතරේ, බයින්ඩ් කරන මැෂිමේ යාපා පොත් ටික ඇලෙව්වා. දවල් දොළහ විතර වෙද්දී පොත් දාහම අලවලා ඉවරයි. එයින් තුන්සීයක් -වගෙයි මට මතක- කපලා පාර්සල් කරලා මගේ මේසය යටින් තියා ගත්තා. තියාගෙන මංජුලට දුරකථන ඇමතුමක් දුන්නා. 'පොත් ටිකක් ගෙනියන්න පුළුවන්. ඉක්මනට එන්න.'

සාමාන්‍යයෙන් ඕනෙම පබ්ලිෂර් කෙනෙක් පොතකින් දාහක් අච්චු ගස්වනවා නම් දහයක්ද- පහළොවක්ද (දෙකෙන් කොයිකද හරි කියලා නිච්චි නෑ.) කතුවරයාට නොමිලේ දෙනවා, කර්තෘ භාග 10% මුදලට අමතරව. ඉතින් මංජුලාට වැඩිපුර පොත් දෙන්නද කියලා ගොඩගේ මහත්තයාගෙන් අහන්නත් බැහැ. තහනම් කරන්න යන කතාවක් උන්නැහේට කියන්නත් බැහැ. සේරම මටයි තීන්දු කරන්න වුණේ; ඒ වගේම එව්වා ක්‍රියාවට නඟන්නත්. මොනවා හරි අප්සෙට් වුණොත් ඒකට වග කියන්න වෙන්නෙත් මටමයි කියලත් මට කල්පනා වුණා. ඒත් එතැනදී මට පස්ස ගහන්න හිතුනෙම නෑ.

තිඹිරිලා ඇවිත් පොත් දහය අරන් ගියා. එයාලා යන්න කලින් මං අපේ ගෙදර ලිපිනය එයාලට දුන්නා, නොවරදවාම හවසට හමුවන්න එන්නයි කියලා.

ඒ එක්කම, දැනටමත් ගොඩ වතාවක් ඔයාලට හමුවෙලා ඉන්න නෙවිල්ටත් කෝල් එකක් දුන්නා. "නෙවිල්, තරහ නැතිව අද හවසට මට ලොකු උදව්වක් ඕනෑ වෙනවා ඔයාගෙන්. බැහැ කියන්න නම් එපා. මොන වැඩක් තිබුණත් ඔයා ඕෆ් වෙලා යන ගමන් ප්‍රෙස් එකට එන්න. අපේ ගෙදරට ගෙනියන්න බඩු වගයක් තියෙනවා." ඊළඟට තව පිටපත් සීයක්ද කොහෙද කප්පලා තැබෙව්වා, ඔතන්නේ නැතිව. හරි. දැන් පිටිය සූදානම්! තරගය පටන් ගන්න පුළුවන් අනෙක් පිල පිටියට සම්ප්‍රාප්ත වුණාම.

ගෙදර යන ගමන් නෙවිල් ආවා. මං එයාගෙ කාර් එකේ දාගෙන 'මරියා' පොත් තුන්සීයක් ගෙදර ගෙනාවා.


නෙවිල් අනුරසිරි


රහසක් රහසක් විදියට රැකෙන්නේ එ්ක දන්නා අය අඩුම වෙන තරමට. මොනවද මේ පාර්සල් කියලා නෙවිල් ඇහුවාමවත් මං කෙලින් උත්තරයක් දුන්නේ නෑ.  හුඟාක් දේවල් හුඟක් දෙනා නොදැන ඉන්න තරමට කාටත් හොඳයි නේද? ඉතින් එදා රාත්‍රියේ මංජුලලා ආවා.

"අපි දැන් මොකක්ද කරන්නේ?" මං එයාලාගෙන් අහන්න ඕනේ ප්‍රශ්නය එයාලා මගෙන් ඇහුවා. 

"කරන දේ ඔයාලා තීරණය කරන්න. මම ඔයාලා නම් කරන දේ විතරක් මට කියන්න පුළුවන්."

"ඒ මොකක්ද?"

"ඕනෙම කතුවරයෙකුට වගේ මංජුටත් ඕනේ ඔයාගේ පොත පුළුවන් ත‍රම් වැඩිදෙනෙක් අතට යන්නනේ. දැන් තියෙන තත්වේ හැටියට සල්ලි නොලැබුණත් ඒක කෙරෙන ගමන්ම පොතට ප්‍රසිද්ධියකුත් ගන්න ක්‍රමයකුයි මං හිතුවේ." මං කියාගෙන ගියා. එයාලා හරස් ප්‍රශ්න ඇහුවේ බොහෝම අඩුවෙන්. "හෙට උදේ පාන්දරින්ම මේ පොතෙන් සීයක් දෙසීයක් විතර මහරගම හන්දියේදී නොමිලේ බෙදනවා..."

"නොමිලේ... ඒ මොකටද?"

"මෙහෙමයි. එහෙම බෙදන ගමන්ම ඔයාලා ෆොටෝ ටිකකුත් ගන්න ඕනේ. CID එකෙන් ආවම ඔයාලාට කියන්න දෙයක් තියෙනවා එතකොට.... අපට ආරංචි වුණා පොත තහනම් කරන්න යන බව. පොත් ටික CID එකට ගෙනියන එක දන්න නිසා අපි පොත් ටික නොමිලේම බෙදලා දැම්මා. තහනම් කරන්න කලින් පොත් බෙදිල්ල වැරැද්දක් නෙවෙයිනේ..... අපට ඕනි වුණේ සල්ලි නොලැබුණත් අපේ පොත පුළුවන් තරම් මිනිස්සු අතරට යවන්නයි කියලා කිව්වම ඉවරයිනේ...... ඒ වගේම කවුද දන්නේ පොත් කීයක් බෙදුවද කියලා. ඔයාලාට ඕනෙම ගණනක් බෙදුවා කියලා, පොත් ටිකක් ඉතුරු කරගන්නත් පුළුවනි." මම මගේ අදහස එයාලට කිව්වා.

මම තේ එකක් හදන්න කුස්සියට ගියා. වැඩියත්ම එහෙම කළේ එයාලට නිදහසේ කතා කරලා තීරණයක් ගන්න ඉඩ දෙන්නයි. මිනිස්සු විවිධයි, විෂමයි. සමහර අයට පුළුවන් ක්ෂණිකව තීන්දු ගන්න. සමහරුන්ට ඒකට කප්පරක් වෙලා යනවා. සමහරු හොඳයි,සමහරු නරකයි..... මේ පෙනෙනවද?




ඔබේ  ජීවිතයේදී කිසිවකුට චෝදනා නොකරන්න.
යහපත් අය ඔබට සතුට ගෙනදෙද්දී අයහපත් අය ඔබට අත්දැකීම් ලබාදෙනු ඇත.
නරකම අය ඔබට පාඩම් උගන්වද්දී හොඳම අය සුමිහිරි මතකයන් ශේෂ කරනු ඇත!

මං තේ හදාගෙන එද්දී එයාලා නිගමනයකට බැහැලා තිබ්බා.

"නිමල්, අපි ඔයා ගෙනැත් තියෙන පොත් ටික ගෙනියන්නම්..... ඒවාට මොකද කරන්නේ කියලා අද රෑට තමයි තීරණය කරන්න වෙන්නේ. අපි හෙට ඔයාට කෝල් එකක් දෙන්නම්කෝ." ඒ ජවනිකාව එතනින් හමාර වුණා.

පසුවදා උදෙන්ම ප්‍රෙස් එකට ගිහින් තව පොත් දෙසීයක්ද කොහෙද කප්පලා, ඒවාත් පාර්සල් කරවලා මගේ මේසය යටින් තියාගත්තා.

මඟ බල-බලා හිටියා වගේම එදා දවල් CID එකෙන් ආවා. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, විනාඩි පහක් යන්න කලින් මටත් බොස්ගෙ කාමරයට යන්න වුණා. ආව අමුත්තො එක ඇතුළේ තමයි වාඩි වෙලා හිටියේ. "මෙයා තමයි අපේ ප්‍රින්ටින් මැනේජර්. එයා තමයි පොත් සම්බන්ධව ඔක්කොම දන්නේ." බොස් මාව හඳුන්නලා දුන්නා.

ප්‍රශ්න කිරිල්ල පටන් ගත්තා. මට හොඳටම මතකයි මං එක බොරුවක්වත් කියන්නේ නැතිව එයාලා තෘප්තිමත් වෙන විදියට උත්තර දුන්නා. මුල හරියෙදීම වගේ මං වැදගත් කරුණකුත් හෙළි කළා.

"ඔය 'මේරි නම් වූ මරියා' කෙටි කතාවත් 'රාවය' පත්තරේ පළ වුණු එකක්නේ. පොත් දාහක් ගැහුවත් එව්වා විකිණෙන්නේ කාලාන්තරයක් ගිහිල්ලානේ. ඒ වගෙයැ පත්තරේ. මට නම් තේරෙන්නේ පත්තරේ කෙටි කතාව ගිය කාලෙයි පල්ලියෙන් ඇක්ෂන් ගන්න තිබ්බෙ." බොහෝම අහිංසක විදියට මං ඉස්සරහට දැම්ම ඒ තර්කයත් වැඩ කළා වගෙයි පෙනුණේ.....







"ඇත්තද?"

ඊට පස්සේ එයාලා ප්‍රශ්න ඇහුවෙත් ආවට විනා වගෙයි. මගේ පිළිතුරු නිසාද, ඒ නිලධාරීන්ගේ ගුණ-යහපත්කම නිසාද එහෙමත් නැතිනම් මේක මේ අහක යන කුණ්ඩාවාඩයක්නේ කියලා හිතපු නිසාද දන්නෑ එහෙම වුණේ. ඒත් චාරිත්තරයක් වශයෙන් හරි එයාලා මුළු ප්‍රෙස් එක පුරාම සෝදිසි කළා. පොතට අදාළ සියලුම දේවල් ඒ ගොල්ලන්ට බාරදෙන්නැයි කියලා කිව්වා. මුද්‍රණ තහඩු (ප්ලේට්ස්), ට්‍රේසින් පේපර්ස්, පොසිටිව්ස්, අච්චු ගහලා තිබුණු පෝරම, කපා හා නොකපා තිබුණු පොත් වගේ සේරම දේවල් බොස්ගේ කාමරයට පොදි ගැස්සෙව්වේ මමමයි.

විසි එක්වැනි සියවසේදීත් මේ වගේ තහනම් කිරීම් සාර්ථක වෙනවාද? තහනම් කිරීමකින්ම සියල්ල වළලා දාන්න පුළුවනිද? මට මතක් වෙන්නේ අශෝක හඳගමගේ 'අක්ෂරය' ෆිල්ම් එක. ඒකත් වාරණයට අහුවුණු එකක්.







සමහරුන් ඒකට විරුද්ධව තමන්ට තියෙන හොඳම අවි-ආයුධ කෙලින් කරගෙන ආවේ චිත්‍රපටය බලලාවත් නැතුව. කනින්-කොනින් අහලා විතරක් කළා කෘතියකට විරුද්ධ වීම සාධාරණද? බොරු කියන්නේ මොකටද? මටත් මිතුරෙක් 'අක්ෂරය' ෆිල්ම් එකේ DVD එකක් ගෙනවිත් දුන්නා. ඒක බැලුවාම මට නම් හිනා ගියා. යම් විදියකින් ෆිල්ම් එක තහනම් නොකර රිලීස් කළා නම් එහෙම ඒක ගැන මෙච්චර කතා කරන එකක් නෑ. ෆිල්ම් එක එච්චර දුවන එකකුත් නෑ, කියලයි මට හිතුණේ.  

ඉතින්, 'මේරි නම් වූ මරියා' තහනමේ කරුමය මුලින්ම පළ දුන්නේ ඊළඟට. ඒ අපේ බොස්ට. 
" අපට දැන් බාර දෙන ඔක්කොම දේවල්වල ඔයා අත්සන් කරන්න ඕනේ." එයාලා බොස්ට කිව්වා. අනේ ඒ අහිංසක මනුස්සයා දාඩිය-මුගුරු දදා පැය ගණනාවක් තිස්සේ අත්සන් ගැහිල්ල කළා. නිකමට හිතන්නකෝ පොත් පන්සීයක විතරයි, ප්ලේට්ස්වලයි, ට්‍රේසින්ස්වලයි..... අත්සන් හත්-අට සීයක් ගහන්න වෙනවා කිව්වාම.

ඊට පස්සේ මොකද වුණේ? දැන් ඔයාලා අහයි. ගොඩගේ මහත්තයා ඒකට මොනවාවත් ඇක්ෂන් එකක් ගත්තයි කියලා මට නම් දැනගන්න ලැබුණේ නෑ. CID එක මංජුල වෙඩිවර්ධනවත් හමු වුණාද, එයා ළඟ තිබ්බ පොතුත් අත් අඩංගුවට ගත්තාද, අර අත්සන් ගහන පරිප්පුව මංජුටත් කන්න වුණාද වගේ ප්‍රශ්න අදටත්, මටත් ප්‍රශ්න විතරයි.

අද වෙනතුරුත් මම ඒ පැත්ත ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ඊට පස්සේ මට මංජුලව මුණ ගැහිලත් නෑ. නමුත් මේ සිදුවීම මතක් කරද්දීත් මට හරිම සතුටුයි, මම නිස්සරණාධ්‍යාශයෙන් මට පුළුවන් උපරිමය කළ නිසා!



No comments:

Post a Comment