Monday, 8 April 2019

උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමට හෙළිදරව් කළ බෞද්ධයාට එරෙහි කාදිනල්ගේ හෘදය සාක්‌කිය -පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි -මහනුවර අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික


***********************************************************
පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි -මහනුවර අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
*************************************************************
(2010 දෙසැම්බර් 27 වන දින #උගත් #පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම ඉදිරියේ #බෞද්ධපාර්ශ්වය වෙනුවෙන් දුන් සාක්‍ෂියයි. මෙහි සඳහන් කරුණුවලට අදාළව බෞද්ධයන්ට බලපාන ප්‍රශ්න විස¹ලීමට කිසිදු නිර්දේශයක්‌ එම වාර්තාවෙන් ඉදිරිපත් නොවේ. කොමිසම සිතන පරිදි ඒ සඳහා ඇති විසඳුම අනාගමික රාජ්‍යයක්‌ බිහිකිරීමයි.)
ගරු ජනාධිපතිතුමා විසින් පත්කරන ලද මෙම කොමිෂන් සභාව හමුවේ මා සාක්‍ෂි ඉදිරිපත් කරන්නේ අස්‌ගිරි මහා විහාර පාර්ශ්වය, සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලය හා ජයග්‍රහණය ශ්‍රී ලංකා සංවිධානය වෙනුවෙනි. තිස්‌ වසරක්‌ පමණ පැවැති පසුගිය ගැටුම්කාරී සමයෙහි පීඩාවට පත් පෙදෙස්‌වල ජනතාව දුක්‌ කරදරවලින් මුදවාලීම සඳහා මම අවුරුදු පහළොවක්‌ පමණ ඔවුන් සමඟ සම්බන්ධ වී සුබ සාධන කටයුතුවල නිරත වූවෙමි. යුද්ධයෙන් එවකට ඇති වූ සිද්ධීන් පිළිබඳ අත්දැකීම් හා ගැටුම්වලට බලපෑ හේතූන් පිළිබඳ අවබෝධයක්‌ මට තිබේ.
මිනිසුන් තමන්ගේ ජාතිකත්වය, ආගම හා භාෂාව සම්බන්ධ සිදුවීම්වලදී ක්‍රියාකරන්නේ ඉතා සංවේදී අයුරිනි. වර්තමාන ලෝකයේ ස්‌ථාන විසිපහක තිහක පමණ පවතින ගැටුම් හා අර්බුද පැන නැගී තිබෙන්නේ ඒ සාධක පදනම් කරගෙනයි. අපේ රටේ පැවැති යුද්ධය කෙරෙහිද ආගමික බලපෑමක්‌ විය. මා බලාපොරොත්තු වන්නේ ඒ ගැන කරුණු හා අදහස්‌ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමටයි. ඒ පිළිබඳ මා සතු සියලු දත්තයන් පසුව මම කොමිසමට භාරදෙමි.
යුද්ධය හා බැඳුන ආගමික පදනම ගැන කියන විට එහි ජාත්‍යන්තර පසුතලය ගැනත් සඳහන් කළයුතුයි. ලෝකයේ ආගමික අර්බුද හා ගැටුම් සියල්ල මතු වී තිබෙන්නේ ඇමෙරිකා එක්‌සත් ජනපදනයේ ව්‍යාප්තවාදය හා ඉස්‌ලාම් මූලධර්මවාදය හේතුවෙනි. නවලෝක සැලැස්‌මට පිටුපසින් තිබෙන්නේ කුමක්‌ද? යන්න පිළිබඳව හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්- බුෂ් (ජ්‍යෙෂ්ඨ) මහතාගේ පැහැදිලි කිරීමකට මම ඔබගේ අවධානය යොමු කරවමි. 1991 පෙබරවාරි 16 දින ලොස්‌ ඇන්ජලිස්‌ ටයිම්ස්‌ පුවත්පතේ එය මෙසේ දැක්‌වෙයි. "මුළු ලොවටම ඒකීය පාලනයක්‌ ගෙන එන එය කදිම අදහසකි. විවිධ ජාතීන් පොදු අරමුණක්‌ උදෙසා එක්‌කෙරෙන එය නව ලෝක සැලැස්‌මකි. එය පෙරට ගෙන යැමට තරම් බලයක්‌ හා ශක්‌තියක්‌ ඇත්තේ එක්‌සත් ජනපදයට පමණි. පුද්ගලයන් වශයෙන්ද, ජාතීන්හි පුරවැසියන් වශයෙන්ද, ජීවන රටාව, පවුල් හා රැකියාවන්, වෙළෙඳ කටයුතු හා ගනුදෙනු අධ්‍යාපන ක්‍රම, ආගම් හා සංස්‌කෘතීන්, ජාතික අනන්‍යතාවයන් ආදී සියල්ල එමගින් වෙනස්‌ කෙරෙනු ඇත. කිසිවකුටත් එයින් මිදෙන්නට බැරිවෙයි."
2004 ජනාධිපතිවරණයෙන් නැවත ජයගත් ජෝර්- බුෂ් මහතා ජනතාව අමතමින්, එක දේශයක්‌, එක ව්‍යවස්‌ථාවක්‌ සහ එක අනාගතයක්‌ වෙනුවෙන් අමෙරිකානුවෝ බැඳී සිටිති. එකට එක්‌ වී ක්‍රියාකරන විට ඇමරිකාවේ ශ්‍රේෂ්ඨත්වය සීමා ඉක්‌මවා යනු ඇතැයි තම අරමුණ සාරාංශ කර දැක්‌වීය. ඔහු එයින් අදහස්‌ කළේ මුළු ලොවම එක ආගමක්‌. එක සංස්‌කෘතියක්‌ හා එක පාලනයක්‌ යටතට ගැනීමයි.
ත්‍රස්‌තවාදයට එරෙහි ලෝක යුද්ධයේ ආගමේ කාර්යභාරය පිළිබඳ දේශනයකදී බින්ලාඩන් ඇල්ලීමේ මෙහෙයුමේ ප්‍රධාන ජෙනරාල් විලියම් බොයිකින් මොහම්මද් තුමාට විරුද්ධව සිදුකළ සෝමාලියා සටනින් ජයගත් බව කියන්නේ බලවත් උද්දාමයෙනි. මගේ දෙවියා ඔහුගේ දෙවියාට වඩා බලවතෙකි. මගේ දෙවියා සැබෑ දෙවියායි. ඔහුගේ දෙවියා මවාගත් කෙනෙකි. අපි ක්‍රිස්‌තියානි ජාතියකි. අපිට තිබෙන්නේ යුදෙව් ක්‍රිස්‌තියානි පදනමකි. අපි සාතන්ගේ සතුරෝය. (I knew my God was biger than his. I knew my God was a real God and his was an idol. Because we're Christian nation. Out foundation and our roots are Judeo Christian and the enemy is a guy named Satan -Frontline 2004-03-26)
ලෝකයේ එක්‌ දේශයක්‌, එක්‌ ආගමක්‌ බිහිකිරීමේ අරමුණ ඇතිව ඇමෙරිකා එක්‌සත් ජනපදය ඉස්‌ලාම් ආගම සමඟ ගැටෙන අයුරු අපි දකිමු. ඇමෙරිකාවේ ආගමික උමතුව ජනාධිපති ජෝර්- බුෂ් මහතාගේ මේ ප්‍රකාශයෙන්ද පැහැදිලි වනු ඇත. "ජෝර්-, ඇෆ්ගනිස්‌තානයට ගිහින් ත්‍රස්‌තවාදීන්ට විරුද්ධව සටන් කරපන් යෑයි දෙවියන් වහන්සේ මා මෙහෙයවූවා. මම එසේ කළා. ජෝර්-, පලයන්. ඉරාකයට ගිහින් කෲර පාලනය අවසන් කරපන් යෑයි කීවා. මම එය කළා. මැදපෙරදිග පලස්‌තීනයට හා ඊශ්‍රාලයට සාමය ගෙන එන්නැයි කියන දෙවියන් වහන්සේගේ නියෝග හඬ මට ඇසේවි කියලා හිතෙනවා." ( The Island - Oct 08,2005)
ක්‍රිස්‌තියානි හා ඉස්‌ලාම් ගැටුම ලෝකයේ එක පැත්තක සිදුවෙයි. ආසියාවේ ප්‍රධාන ආගම් වන්නේ බුදුදහම හා හින්දු ආගම යි. මේ ආගම්, මිනිසුන් එකිනෙකා අතර සුහදත්වය ඇති කරමින් ආසියානු කලාපයේ ක්‍රියාත්මක වෙයි. බොදු ලොවෙහි ජනතාව (Peoples of the Buddhist World A Christian Prayer Guide - Paul Hattaway) නමින් පොතක්‌ ලියන පෝල් හාට්‌වේ නමැති පාස්‌ටර්වරයා බුද්ධාගම අදහන ජනවර්ග 238 ක්‌ ලෝකයේ සිටින බව කියයි. ඔවුන් ක්‍රිස්‌තියානි ආගමට හරවා ගැනීම සඳහා පාස්‌ටර්වරුන්ට උපදෙස්‌ දී තිබේ. ඒ අනුව බොදු රටවලට ගොස්‌ ආධාර බෙදාදී බෞද්ධයන් ක්‍රිස්‌තියානියට හරවා ගන්නා සංවිධාන රාශියක්‌ ඇත.
යුද්ධය පවතිද්දී ආගම පදනම් කරගත් නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන ජනතාව අතර බෙදීම් හා ගැටීම් උත්සන්න කරවන විවිධ ක්‍රියාකාරකම්වල යෙදී ඇත. සුදු නෙලුම්වලින් රුධිරය ගලන ආකාරයට කාටුන් ඇඳගෙන උතුරේ ජනයා සිංහලයන්ට එරෙහිව උසිගැන් වූ කෙනත් මල්ඩර් පාස්‌ටර් ගැන ඔබට මතක ඇති. ඔහු රටින් නෙරපනු ලැබීය. හමුදා සොල්දාදුවන්ට ආරක්‍ෂාව පතා දෙවියන්ට යාච්ඥ කරන්නැයි ඊ. එච්. ටී. ගුණසේකර නමැති 83 හැවිරිදි කාන්තාවක්‌ පල්ලියෙන් ඉල්ලුවාය. රජයේ හමුදා සොල්දාදුවන්ට යාච්ඥ කිරීම අවශ්‍ය නැතැයි ඇයට දැනුම් දී ඇත. ඒ ගැන සිත් වේදනාවෙන් ඇය පුවත්පතකට ලිපියක්‌ ලියා ඇත. A Fallen Church (The Island,1993-01-28) "පල්ලියේ බිඳවැටීම" (දිවයින 1993-01-31)
යුද්ධමය වාතාවරණය තුළ බෞද්ධයන් හා හින්දූන් අන්‍යාගම්වලට හරවා ගැනීමේ සැලැස්‌ම නිසා ජනතාව අතර ආගමික බෙදීමක්‌ හා අර්බුදකාරී ස්‌වරූපයක්‌ මතුවිණි. අන්‍යාගම්කරණය වැළැක්‌වීම සඳහා නීතියක්‌ ක්‍රියාත්මක විය යුතුය යන ජනතා හඬ ඉස්‌මතු වූ නිසා පනත් කෙටුම්පත් පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. මුලින්ම එවැනි පනතක්‌ ඉදිරිපත් කළේ හින්දු ආගමික කටයුතු ඇමති ටී. මහේෂ්වරන් මහතාය. රත්නසිරි වික්‍රමනායක මහතාද ඒ සඳහා පනතක්‌ ඉදිරිපත් කළේය. බලහත්කාරයෙන් අන්‍යාගම්වලට හැරවීම වැළැක්‌වීමේ පනත් කෙටුම්පතක්‌ ඉන්පසු ජාතික හෙළ උරුමයද පාර්ලිමේන්තුවට ගෙනාවේය. ක්‍රිස්‌තියානි හා කතෝලික කණ්‌ඩායම් එම පනත සම්මත කර ගැනීමට විරුද්ධව අධිකරණයට ගියහ. එම පනත සම්මත කරගත යුතු යෑයි බෞද්ධ හා හින්දු ජනතාව එකමුතුව අධිකරණයට කරුණු කියා සිටියේය. බලහත්කාරය යන්නෙහි නිර්වචනය සම්බන්ධයෙන් අධිකරණයේ දී තර්ක මතුවිය. තුන්වන වතාවට පාර්ලිමේන්තුවේ කියවා සම්මත කරගන්නට තිබුණ ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ පනත් කෙටුම්පත න්‍යාය පුස්‌තකයට දැමීම හිතාමතා වැළැක්‌වූ බව පැහැදිලිය. ආණ්‌ඩුව විසිරුවාලීම නිසා පනත අහෝසි විය. අන්‍යාගම්කරණ ගැටලුව ඉතිරි විය.
අනතුරුව අපගේ බෞද්ධ ආයතන ඉල්ලා සිටියේ ආගමට හැරවීමේ ක්‍රියාදාමයක සම්බන්ධ නොවන බවට ශ්‍රී ලංකාවට එන විදේශිකයන්ගේ ගමන් බලපත්‍රයේ සටහනක්‌ තබන ලෙසයි. එය ඉටුනොවුණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින ආගමික සංවිධාන සරසවි සිසුන් පවා ක්‍රිස්‌තියානියට හරවන බව හෙළිදරව් විණි. ඒ සම්බන්ධ ලේඛන හා වීඩියෝ මම ඉදිරිපත් කරමි. විදේශිකයන් ඇතිකරන ආගමික අර්බුද මැඩලීම සඳහා රජය පියවර ගතයුතු යෑයි යෝජනා කරමි.
ඇතැම් #ක්‍රිස්‌තියානි සංවිධානයන්ට එරෙහිව බෞද්ධයෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූහ. ආගම ඇදහීම මානව අයිතිවාසිකමකි. නමුත් අයුතු බලපෑම් මගින් පුද්ගලයන් ආගමකට හැරවීම සඳහා අයිතියක්‌ ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් කිසිවකුට බලය ලබාදී නොමැත. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු තුනකින් ඒ බව තහවුරු විය. ක්‍රිස්‌තියානි සහනයේ දොරටුව #යාච්ඥ මධ්‍යස්‌ථානය (2001-05-24) නිව් වයින් හාවස්‌ට්‌ මිනිස්‌ට්‍රීස්‌ (2003-01-29) සහ "ශාන්ත ප්‍රැන්සිස්‌ මෙන්සිජියන් සොහොයුරියන්ගේ ව්‍යාපාරය (2003-07-25) පිළිබඳ නඩු තීන්දුවලින් ආගම ඇදහීමට මිස ආගමටව හැරවීමට අයිතියක්‌ නැති බව පැහැදිලි කර ඇත. එය කඩ කළොත් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදීම සම්බන්ධ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නියමයන්ට පටහැනි යෑයි පාර්ලිමේන්තුවට වාර්තා කර ඇත. මේ අතර ක්‍රිස්‌තියානි සංවිධාන රාශියක්‌ ක්‍රියාකාරී ප්‍රකට බෞද්ධ සංවිධානවල තොරතුරු සෙවීමට රහසිගතව ඔත්තුකරුවන් යොදවා ඇත.
අතීතයේදී අපේ රටේ #බෞද්ධ හා #හින්දු ජනයා අතර එකමුතුකමක්‌, මිත්‍රත්වයක්‌ තිබුණි. #දෙවියන් වහන්සේගේ දූතයකු හෙවත් මෝසෙස්‌ නමින් පෙනී සිටි එස්‌. ඡේ. වී. චෙල්වනායගම් මහතාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් පසුකාලයේදී බෞද්ධ හා හින්දු ජනයා අතර සුහදතාව හා අෙන්‍යාන්‍ය විශ්වාසය බිඳෙන්නට පටන්ගත්තේය. අරන්තලාවේ භික්‍ෂු ඝාතනය, අනුරපුර සිරිමහ බෝධිය අසල බෞද්ධ සංහාරය, සිරි දළදා මාලිගාවට බෝම්බ ගැසීම වැනි සිද්ධීන් දක්‌වා එදිරිවාදිකම් දරුණු විය. ඒවා #චෙල්වනායගම් මහතා බෞද්ධයන්ට එරෙහිව හින්දූන් පෙළඹවීමේ පසුකාලීන ප්‍රතිඵලය. එහෙත් එම සිදුවීම් හැඳින්වූයේ බෞද්ධයන් හින්දු ආගමිකයන්ට එරෙහිව සිදුකරන දේවල් නිසා ඇතිවන ප්‍රතික්‍රියාවන් වශයෙනි. චෙල්වනායගම් මහතාට පෙර සිටි සර් පොන්නම්බලම් රාමනාදන් වැනි දෙමළ නායකයෝ බෞද්ධයන් සමග මිත්‍රත්වයකින් සිටියහ. වෙසක්‌ පොහොය දවස රජයේ නිවාඩු දිනයක්‌ කරන්නට ද ඔහු සහාය දුන්නේය.
වෙසක්‌ දිනය ජාත්‍යන්තර දිනයක්‌ බවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්තේ ඔබ කවුරුත් දන්නා ගරු ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතා ඉදිරිපත් කළ යෝජනාවකිනි. ඔහු බුදුදහම ප්‍රචාරයට ද වටිනා මෙහෙවරක්‌ කළේය. ඔහු ජීවත්වුණේ බෞද්ධ භික්‍ෂුවක පිරිනැමූ වකුගඩුවක පිහිටෙනි. ඔහු ඝාතනය කෙරුණේ බෞද්ධයන්ගේ සිත් දිනාගෙන සිටි බැවිනි. වී. ආනන්දසංගරී මහතාගේ සොහොයුරු Æණසංගරී මහතා ඝාතනයට ලක්‌වුණේ හින්දූන් ක්‍රිස්‌තියානියට හැරවීමට එරෙහිව පත්‍රිකා බෙදමින් සිටියදීය. යුද්ධය පැවැති ප්‍රදේශවල හින්දූන් 7000 ක්‌ ක්‍රිස්‌තියානියට හරවාගෙන ඇති බවට පාර්ලිමේන්තුවේ හඬ නැඟූ ටී. මහේෂ්වරන් ඇමැතිවරයා විසින් ආගමට හැරවීමට එරෙහිව පනතක්‌ ගෙනෙනු ලැබිණ. ඇමෙරිකානු තානාපති එම පනත ගෙන ඒමට හේතු විමසීය. මහේෂ්වරන් මහතා හින්දු කෝවිලක පූජාව පවත්වමින් සිටියදී ඝාතනයට ලක්‌විය. අපේ රටේ ජාතිවාදී ගැටුම දියත් වුණේ බෞද්ධ හා හින්දු ආගමික සමගිය බිඳ දමමිනි. ජාතිවාදී ගැටුම්වලට හේතුව බලලෝභී දේශපාලකයන්ගේ ක්‍රියාකලාපයයි. මම එයට නිදසුනක්‌ ලෙස 1969 ලංකාදීප පුවත්පතේ වාර්තාවක්‌ ඉදිරිපත් කරමි.
"අපි බෞද්ධයෝ වෙමු. අපේ දරුවන්ට සිංහල ඉගෙන ගන්නට පහසුකම් සලසන්න යෑයි ද්‍රවිඩ හරිජන මවුපියෝ පන්සියයකට අධික පිරිසක්‌ යාපනයේදී අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. යාපනයේ අච්චුවේලි කරවෙඩ්ඩි සහ අල්වායි පිහිටි ද්‍රවිඩ බෞද්ධ පාසල් රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය විධිවිධාන යෙදීමට එහි ගිය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඩී. ජී. කුලතුංග මහතා වෙත ඉල්ලීම ඉදිරිපත් කළ හරිජන මවුපියෝ මේ පාසල්වල අධ්‍යාපන මාධ්‍යය වශයෙන් ද්‍රවිඩ භාෂාව නියම නොකළ යුතු බව කියා සිටියහ. අධ්‍යාපන අධ්‍යක්‍ෂක තනිකාසලම් සහ සමස්‌ත ලංකා ද්‍රවිඩ බෞද්ධ සංගමයේ සභාපති එම්. වයිරමුත්තු යන මහත්වරුද කුලතුංග මහතා සමග එහි ගියහ.
ඒ ඒ පාසල් වෙත රැස්‌ වී හරිජන දෙමවුපියෝ තම දරුවන්ගේ අධ්‍යාපන මාධ්‍ය සිංහල හැර වෙනත් භාෂාවක්‌ නොවිය යුතු බවට කරුණු ඉදිරිපත් කළහ. තම දරුවන්ගේ අධ්‍යාපන මාධ්‍යය සිංහල විය යුතු බව තමන් 1965 සිට අධ්‍යාපන ඇමැතිවරයාට කියා සිටිය බවත් ඇමැතිවරයා මෙම පාසල්වල සිංහල උගැන්වීමට කලින් ගත් තීරණය කිසිම අයුරකින් වෙනස්‌ නොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔවුහු කීහ. දැනට ඒ සඳහා ඔවුහු සිංහල ඉල්ලන සංදේශයක්‌ සකස්‌ කරගෙන යති.
මේ අතර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඩී. ජී. කුලතුංග මහතා මෙම පාසල්වල අධ්‍යාපන මාධ්‍යය සිංහල මාධ්‍ය වශයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස නුසුදුසු ලෙස කටයුතු කරන බව පෙඩරල් පක්‍ෂය විදුලි පුවතකින් අගමැතිවරයාට දැනුම් දී තිබේ. පක්‍ෂයේ ලේකම් ඒ. අමිර්තලිංගම් සහ තවත් පෙඩරල් පක්‍ෂ මන්ත්‍රීවරුන් තිදෙනකු විසින් එවා ඇති මෙම විදුලි පුවතෙන් කුලතුංග මහතාගේ නීති විරෝධී නුසුදුසු ඇඟිලි ගැසීම් නවතා මෙම පාසල් ද්‍රවිඩ මාධ්‍යයෙන් අධ්‍යාපනය දෙන පාසල් වශයෙන් රජයට ගන්නා ලෙස ඉල්ලා සිටිති." (ලංකාදීප 1969 මැයි 26)
පසුගිය කාලයේ ඕමන්ත හා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදුපිළිම තැන්පත් කිරීම නිසා විරෝධතා මතු විය. නමුත් නැගෙනහිර පළාතේ තොට්‌ටම අලිගම්බේ ප්‍රදේශයේ දාගැබක්‌ උඩ අඩි පහළොවක්‌ පමණ උස කුරුසයක්‌ ඉදිකර තිබෙන හැටි මම දුටුවෙමි. මේ කුරුසය තිබුණේ නැගෙනහිර මුහුදේ ඈතට පෙනෙන අයුරිනි. අපේ රට ක්‍රිස්‌තියානි දේශයක්‌ බව පෙන්වීම එහි අරමුණයි. මා කොමිසමට පෙන්වා දෙන්නේ යුද සමයේ ආගමික ක්‍රියාකාරිත්වයයි.
මා මේ සියලු කරුණු කියන්නේ භික්‍ෂුවක්‌ වශයෙන් දීර්ඝ කාලයක්‌ ක්‍රියාකාරී සමාජ මෙහෙවරක යෙදෙමින් ලබාගත් අත්දැකීම් හා ගවේෂණාත්මක තොරතුරු පදනම් කරගෙනය. බෞද්ධ හා හින්දු ජනයා අතර දිගු කලෙක සිට සුහදත්වයක්‌ හා සංස්‌කෘතික ඒකාබද්ධතාවක්‌ විය. ද්‍රවිඩ නායක්‌කර් වංශික කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බෞද්ධයෙකි. ඔහු කෙරෙහි විශාල ගෞරවයක්‌ අප තුළ තිබේ. අස්‌ගිරි - මල්වතු මහා විහාර අයත්වන සියම් මහා නිකාය ආරම්භ වුණේ උපසම්පදාව පිහිටුවීමට එතුමා දැක්‌වූ අනුග්‍රහය නිසාය. මහනුවර යුගයේ බෞද්ධ පුනරුදය උදාවුණේ එතුමාගේ දායකත්වයෙනි. ශ්‍රී දළදා පෙරහැර යනු බෞද්ධ හා හින්දු සංස්‌කෘතික ලක්‍ෂණවලින් යුක්‌ත වූවකි. තිස්‌ වසරක්‌ ගැටුම් පැවැති පසුගිය සමයේ විවිධ බලවේග විසින් බෞද්ධ හා හින්දු ජනයා අතර විරසක බව, අවිශ්වාසය, වෛරය ගොඩනඟන ලදී. හින්දු හා බෞද්ධ ජනතාව අතර යළිත් බැඳීමක්‌ ඇතිකිරීමට පියවර ගැනීම උදා වූ සාමයත් සමග කළයුත්තකි. ආගමික හා සංස්‌කෘතික සබඳතා ඔස්‌සේ එය සිදු කළ හැක. බෞද්ධ හා හින්දු සංවිධාන ඒකාබද්ධ කිරීමේ වැඩකටයුතු අස්‌ගිරි මල්වතු මහනාහිමිවරුන්ගේ අනුශාසනා යටතේ දැනටමත් අප ආරම්භ කර ඇත. අස්‌ගිරි මහා විහාරයේ පැවිදි උපසම්පදාව ලැබූ දෙමළ ජාතික භික්‍ෂුවක්‌ද සිටියි.
ජනවාර්ගික ගැටලු ඉස්‌මතු වුණේ #සිංහල බස රාජ්‍ය #භාෂාව කිරීම නිසා යෑයි සාවද්‍ය මතයක්‌ පවතියි. සිංහල හෝ #දෙමළ බසින් දරුවන්ට තමන්ගේ මවු බසින් ඉගෙනීම ලබාදිය යුතු යෑයි එම්. ඩී. බණ්‌ඩා ඇමැතිවරයා 1955 ජනවාරි 13 දින ස්‌වභාෂා අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම පනත සම්මත කිරීමෙන් සිංහල හා දෙමළ දරුවන්ට තම මවුබසින් උසස්‌ අධ්‍යාපනය ලබාගැනීමේ හා රජයේ උසස්‌ තනතුරුවලට පත්වීමේ වරම් හිමිවුණි. ඊට පෙර අධ්‍යාපනය සිදුකෙරුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. "සිංහල භාෂාව පමණක්‌ දන්න කෙනකුට මන්ත්‍රීවරයකු හැටියට රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇතුල්වීමට පුළුවන්කමක්‌ තිබුණේ නැහැ. ස්‌ථාවර අණපනත් වලින් නියම කර තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක්‌ වැඩ කටයුතු කරන්නයි. (ඡේ. ආර්. ජයවර්ධන මහතා හැන්සාඩ් වාර්තාව 1968 ජනවාරි 08) සිංහල රාජ්‍ය භාෂාව කළ යුතු යෑයි මුලින්ම යෝජනා කළේ ඡේ. ආර්. ජයවර්ධන මහතාය. බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදෙන්නටත් පෙර රාජ්‍ය භාෂාව වශයෙන් සිංහල භාෂාව යොදාගන්නට යෝජනා කළේ ඉංගී්‍රසි භාෂාවේ ආධිපත්‍යයෙන් මිදීමටයි. රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ එම යෝජනාව 1944 මැයි 25 වැනිදා විවාදයට ගත් විට ඇතැමුන් කීවේ ජයවර්ධන මහත්තයා කුස්‌සියේ භාෂාවට තැනක්‌ දෙන්නට වෙහෙසෙනවා යනුවෙනි.
සිංහල බස රාජ්‍ය භාෂාව බවට පත්කරමින් ඇස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා මෙසේ ප්‍රකාශ කර ඇත. මේ කරුණ අමතක කරන්න එපා. දැන් යාපනේ සෑම පාඨශාලාවකම වාගේ සිංහල භාෂාව උගන්වනවා. මා ඒ ගැන සන්තෝෂ වෙනවා. දැනට ටික කලකට පෙර ඇමැතිවරයකු හැටියට මා යාපනයට ගිය අවස්‌ථාවකදී යාපනයේ පාඨශාලාවක ළමයින් මා පිළිගත්තේ ඉතාම රම්‍ය කවි පන්තියක්‌ කීමෙනුයි. ඒ දිනවල පවා යාපනේ ශිෂ්‍යයන්ට සිංහල කවිත් කියන්නට පුළුවනි. නිකම් සාමාන්‍ය වශයෙන් සිංහල කියවන්නට ලියන්නට පමණක්‌ නොව කවි පවා කියන්නට පුළුවන්කම තිබුණා. දැන් ඊටත් වඩා යාපනේ ශිෂ්‍යයන්ට සිංහල පුළුවන්කම ඇති. සිංහල භාෂාව පමණක්‌ රාජ්‍ය භාෂාව කිරීම ලොකු ප්‍රශ්නයක්‌ නොවන්නේ ඒ නිසයි." (1955 ඔක්‌. 19 හැන්සාඩ් වාර්තාව)
රටේ ජනයාගෙන් සියයට 75 ක්‌ සිංහල කතා කරති. ඉතිරි සියයට 25 සඳහා සිංහල ඉගැන්වීමෙන් ඒ කොටසට ඇතුළත් කිරීම පහසු යෑයි බණ්‌ඩාරනායක මහතා කීය. පසුකාලයේ දෙමළ බසට නිසි තැන ලබාදීමේ අරමුණ ඇතිව පනත් ගණනාවක්‌ පාර්ලිමේන්තුවේ සම්මත කර ඇත. 1958 අංක 31 දරණ ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්‌ඩල පනතින් සිංහල හා දෙමළ භාෂා වලට සම මට්‌ටමක්‌ හිමි වෙයි. 1959 උසාවි භාෂා පනත මගින් උසාවිවල කටයුතු දෙමළ බසින් කිරීමට අවස්‌ථාව ලබාදී ඇත. 1966 ජනවාරි 08 දින දෙමළ භාෂාවේ භාවිතයට පහසුකම් සලසා තිබේ. 1978 වසරේ පටන් දෙමළ භාෂාව ජාතික භාෂාවකි. 1987 දී දෙමළ බස රාජ්‍ය භාෂාවක්‌ විය. ගැටුම්වලට මුල භාෂාව නම් අද එම ගැටුමට පදනමක්‌ නොමැත. දෙමළ ජනතාවට ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොදීම පරිපාලනයේ වරදක්‌ මිස සිංහල ජනතාවගේ වරදක්‌ නොවේ. සිංහල බස රාජ්‍ය භාෂාව කිරීම එක්‌සත් ජාතික පක්‍ෂ සමුළුවේදී පවා සම්මත කරගත් යෝජනාවකි. නමුත් පසුකාලයේ එය ජාතිවාදී අවියක්‌ විය. රථවාහන අංකයට ශ්‍රී අකුර යෙදීමෙන් කෝලාහල ඇතිවුණි. එහෙත් අද වාහනවල සිංහල හෝ දෙමළ අකුරු නැත. කිසිවකු එයට එරෙහිව සටන් කරන්නේ නැත. සැබැවින්ම ගැටුම්වලට මුල භාෂාව නොව දේශපාලකයන්ගේ ජාතිවාදී අභිලාෂයන්ය.
ඉන්දියාව සමග පැවැති අතීත සම්බන්ධතා ගැනද මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ බෞද්ධයෝ බොහෝ සිටියහ. ඔවුහු බෞද්ධ පොත් ලියූහ. බෞද්ධාගමික හා සංස්‌කෘතිsක වශයෙන් ඉන්දියාව සමග පැවැති එම සබඳකම් යළිත් ඉස්‌මතු කරගැනීමට පියවර ගතයුතු බව යෝජනා කරමි. එසේ කළොත් ජාතිවාදී ගැටුම්වලට දකුණු ඉන්දියාවෙන් එල්ලවන බලපෑම් දුර්වල වනු ඇත.
අවසාන වශයෙන් මෙම කොමිසටම අවධාරණය කරන්නේ පිරිවෙන්වල ශිෂ්‍ය භික්‍ෂූන්ට දෙමළ භාෂාව ඉගැන්වීම දැනට වඩා සැලකිල්ලකින් සිදුකළ යුතු බවයි. එවිට දෙමළ ජනතාව සමග සමීපව කටයුතු කිරීමට භික්‍ෂූන්ට අවස්‌ථාව ලැබේ. ජනාධිපතිතුමා සමග අප සිදුකළ සාකච්ඡාවකදී එතුමා අවධාරණය කළේ, හාමුදුරුවනේ, ඔබ වහන්සේලා නොයෙකුත් ද්‍රව්‍යාධාර දෙමළ ගම්මානවල බෙදාදී පැමිණීමෙන් වැඩක්‌ නැහැ. දෙමළ මිනිසුන්ගේ භාෂාව ඉගෙන ගෙන ඔවුන්ගේ හදවත් දිනාගැනීමට උත්සාහ කරන්න යනුවෙනි. එය වහා ක්‍රියාත්මක කළයුතු යෝජනාවකි. කොමිෂන් සභාවට ස්‌තුතිය පළකරමින් මගේ සාක්‍ෂිය නිම කරමි
දිවයින -2012/10/12

No comments:

Post a Comment