Thursday, 23 May 2019

"උගත් පාඩම් කොමිසම හා නව කාදිනල්තුමා"

"උගත් පාඩම් කොමිසම හා නව කාදිනල්තුමා"

කාදිනල් යන වචනය "කාඩෝ - සිනිස්‌" යන ලතින් වචන වලින් ගිලිහී ආ එකක්‌ වන අතර එම පදවිය ශුද්ධාසනය හා ප්‍රධාන පදවි යාකරන පුරුකක්‌ ලෙස කතෝලිකයෝ සලකති. සභා නීතිය අනුව කාදිනල්වරුන්ට පැවරී ඇති රාජකාරිය වනුයේ බරපතල අවස්‌ථාවන්හි උද්ගත වන ගැටලුවලට විසඳුම් ලබා දීමට පාප්වහන්සේට උපරිම සහය ලබාදීම හා ජනතාවට දෛනික කටයුතු වලදී උදව් උපකාර කිරීමය.

පටබැඳිගේ දොන් ඇල්බර්ට්‌ මැල්කම් රංජිත් කුමරුවා උපත ලැබුවේ 1947 නොවැම්බර් 15 වැනි දා වන අතර එතුමා ශාන්ත ඇලෝසියස්‌ සෙමනේරියට ඇතුල් වුණේ 1965 දීය. හයවැනි ජුවාම් පාවුලු පාප්වහන්සේ විසින් මැල්කම් රංජිත් පියතුමා පූජකවරයට පත්කරන ලද්දේ 1975 ජුනි 29 වැනිදාය. 1995 සිට 2001 දක්‌වා රත්නපුරයේ රදගුරු ලෙස කටයුතු කළ මැල්කම් රංජිත් පියතුමා 2009 ජුනි 16 වැනිදා කොළඹ රදගුරු බවට පත්විය. ඊයේ දිනයේදී එනම් නොවැම්බර් 20 වැනිදා රෝමයේ වතිකානුවේදී කොළඹ රදගුරුවරයාට පාප්වහන්සේ විසින් කාදිනල් හිස්‌වැස්‌ම පිරිනැමීමට නියමිතව තිබිණි.

ඊයේ දිනයේදී ලෝකයේ නොයෙක්‌ රටවලින් තෝරාගනු ලැබූ රදගුරුවරුන් 24 දෙනකුට කාදිනල් පදවිය පිරිනැමීමට නියමිත වූ බව කොළඹ අගරදගුරු කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

අද අපි මැල්කම් රංජිත් කාදිනල්තුමා ගැන කථා කරන්නට සිතුවේ එතුමාට වතිකානුවෙන් ලැබුණු අලුත් තනතුර නිසා නම් නොවේ. එතුමා ඉකුත් 03 වැනිදා "උගත් පාඩම් සංහිදියා" කොමිසමට ලබාදුන් අපූරු සාක්‍ෂි නිසාය. 62 හැවිරිදි කාදිනල්තුමා, සිංහල රාජ්‍ය භාෂාව කිරීම ගැන විවේචනාත්මකව අදහස්‌ දැක්‌වූ අතර උතුරෙන් පලවා හැරි සිංහලයන් නැවත පදිංචි කිරීම ගැනද දැඩි විවේචනයක්‌ එල්ල කළේය. මෙය බරපතල කාරණයකි. උතුරු නැගෙනහිර පළාත්වල සිංහලයන් නැවත පදිංචි කිරීමට කාදිනල්තුමා විරෝධය පළ කරන්නේ මන්ද? 2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් කලපුවේදී මරණයට පත්වූ ප්‍රභාකරන්ටද අවශ්‍ය වුණේ උතුරු නැගෙනහිර පළාත් නැතිකර දෙමළ ප්‍රදේශ කිරීමටය. එහෙත් උගත් පාඩම් කොමිසමට සාක්‍ෂිදෙන කාදිනල්තුමාද නැවතත් උතුරු නැගෙනහිර සිංහලයන්ගෙන් තොර ප්‍රදේශයක්‌ බවට පත් කළ යුතු යෑයි කියයි. මෙය ශ්‍රී ලංකාවේ මහජාතියට කළ නිගාවකි. එමෙන්ම රංජිත් කාදිනල්තුමා ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනතද හදිසි නීතියද දැඩි විවේචනයට ලක්‌කර තිබිණි. එහෙත් උගත් පාඩම් කොමිසමේ සභාපති හිටපු නීතිපති සී. ආර්. ද සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්‌තවාදය මර්දනය සඳහා මෙවැනි නීති යොදාගත් පළමු රට ශ්‍රී ලංකාව නොවන බවයි. ඇත්තෙන්ම කාදිනල්තුමා ලබාදුන් සාක්‍ෂි අනුව ඔහුගේ ස්‌ථාවරය වූයේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සුදුසු නොවන බව දැයි අපට උභතෝකෝටිකයක්‌ පැනනගී. එදා රායප්පු ජෝශප් රදගුරුතුමාද කොටි සංවිධානය සමග එකට සිටිමින් මේ අදහස්‌ දැරූ බව නම් අපට අමතක නැත.

කාදිනල්තුමාගේ අදහසට අනුව නම් වසර තිහකට පෙර සිය ගම්වලින් එළවා දැමූ සිංහලයන් නැවත යාපනයේ පදිංචියට යැම භයානක ආන්තරාවකි. එහෙත් දෙමළ ජනයා උතුරු නැගෙනහිරින් පිටත ප්‍රදේශවලට පැමිණ පදිංචි වී සිටීම ගැන කාදිනල්තුමා කතාකර නැත. උගත් පාඩම් කොමිසම ගැන කතෝලික පල්ලිය වෙනුවෙන් සාක්‍ෂිදුන් පියතුමන්ලා රජයේ ක්‍රියාමාර්ග විවේචනය කළා මිස කොටි සංවිධානය විවේචනය කළ බවක්‌ අප මාධ්‍ය වලින් දුටුවේ නැත. ඇත්තෙන්ම යුද්ධය පැවැති කාලයේදී පවතින මෙරට අගරදගුරු මන්දිරය ප්‍රකාශ කළේ සාම සාකච්ඡාවලට එළඹෙන්න කියා මිස ත්‍රස්‌තවාදය පරාජය කළ යුතුබව නොවේ.

උගත් පාඩම් කොමිසමට සාක්‍ෂිදෙමින් නව කාදිනල්වරයාද කතෝලික පල්ලියද කොටි සංවිධානය නැවත වරක්‌ සාම සාකච්ඡා මේසයට ගෙන ඒමට උත්සහ කළද එය අසාර්ථක වූ බව සඳහන් කර තිබිණි. මේ කොමිසමට සාක්‍ෂි දීමට පැමිණි මඩකලපුව හා ත්‍රිකුණාමලයේ රදගුරු කිංස්‌ලි ස්‌වාමිපිල්ලේ පියතුමා රජය මානව හිමිකම් ආරක්‍ෂා නොකරන්නේනම් නැවත වරක්‌ උතුරු නැගෙනහිර සන්නද්ධ කැරැල්ලක්‌ ඇතිවීමට ඉඩකඩ ඇති බව ප්‍රකාශ කර තිබිණි. වසර 30 ක යුද්ධය නිසා දෙමළ ජනතාවට තම සියලු අයිතිවාසිකම් නැතිවිය. එහෙත් යළිත් ඒ තත්ත්වය ඇතිවුවහොත් නැවතත් දෙමළ ජනයා යළිත් ආගාධයට වැටෙන බව මේ රදගුරුතුමා නොදන්නේද? නැතිනම් ඔහු එල්.ටී.ටී.ඊ.ය පරාජය වීම ගැන කනගාටුවන්නේ දැයි අපට සැකසිතේ.

දහසය වන බෙනඩික්‌ පාප්වහන්සේ බ්‍රිතාන්‍යයේ සංචාරය කරද්දී දහස්‌ ගණන් දෙනා උන්වහනසේට විරුද්ධව පෙළපාලි ගියේ කතෝලික පල්ලියේ පූජකවරුන් අතින් අතවරයට ලක්‌වූවන්ගෙන් සමාව අයදින ලෙස බලකරමිනි. මේ නිසාම කතෝලික පල්ලියෙන් සිදුවූ වැරදිවලට සමාව අයදින්නට පාප්වහන්සේට සිදුවිය. එංගලන්ත වැසියන්ට පෙළපාලි යැමේ අයිතිය අවහිර කරන්නට අපට බැරිය. 1505 දී මෙරටට පැමිණි පෘතුගීසි ජාතිකයෝ මෙරට කතෝලික ආගම පැතිරවීමට කටයුතු කළේ ශාන්ත හෝ කාරුණික ක්‍රියාදාමයකින් නෙවේ. ඔවුන් ආගම පැතිරවූවේ කඩුවේ බලයෙනි.

කෙසේ නමුත් වර්තමානයේ පෘතුගාලයේ ජනතාවගෙන් පල්ලියට දේවමෙහෙයන් සඳහා 20% ක පමණ පිරිසක්‌ පමණි. කතෝලික පල්ලියේ විරෝධය නොතකා ඒ රටවල ගබ්සාව මෙන්ම සමලිංගික විවාහයන්ද නීතිගත කර ඇත. මේ ගැන මා සටහන් කළේ මේ තොරතුරු "උගත් පාඩම්" කොමිසමට නව කාදිනල්තුමා ලබාදුන් සාක්‍ෂිවලට අදාළ නොවෙතත් හුදී ජන පාඨකයාගේ දැන ගැනීම පිණිසය. මැල්කම් රංජිත් කාදිනල් තුමා මේ කොමිසමට පැමිණ සාක්‍ෂි පිදීම අපි අගය කරමු. ආගමික නායකයකු වශයෙන් එය වැදගත්ය. එහෙත් ඒ අදහස්‌ මෙරට බහුතර සිංහල බෞද්ධ ජනතාවට නම් එකඟ විය නොහැකිය. එය කනගාටුවෙන් වුවද පැවසිය යුතුය. රටට හිතවත් අදහස්‌ වලට පමණක්‌ අපට එකඟවිය හැකිය. මේ රට සෑම ජාතියකටම අයිති වන අතර කිසිම පළාතක්‌ කිසිම ජාතියකට සුවිශේෂිව වෙන්කර නැත. ඒ වෙන කළ ප්‍රදේශ පසුගිය කාලයේ පැවැතියද ඒ සියලු භූමි 2009 මැයි මාසයේදී නිදහස්‌ කරන ලද බව සියලු දෙනාම දැනගත යුතුය.

චතුර පමුණුව

No comments:

Post a Comment